Sunday, April 5, 2009

හේන් ගොවිතැන - ගිනි තැබීම

හේන් ගොවිතැන ගැන තාත්ත ලියන ලිපියේ තවත් කොටසක් ඉල්ල ගත්ත.
බලන්නකො.

ගිනි තැබීම

අහසේ වැහිවලා රොක්වද්දී කැපූ කැලෑ ගිනි තබති. තෝරාගත් දිනයේ ඉර හැරී හෝරා දෙකකින් පමණ ගෙවෙද්දී හුලං හමනා අත බලා ගිනි අවුලවයි. බොහෝ විට මේ ගින්නෙන් දැවෙන්නේ ශාක පත්‍ර හා සිහින් අතුරිකිලි පමණි. පසුව ඉතිරිවන අතු-රිකිලි වලින් වැට බැඳීමට සුදුසු ලී දඬු ඉවත් කොට ඉතිරිවන කොටස් ගොඩ ගසා ගිනි තබයි. මෙම ගොඩ ‘මැලය’ ලෙස හඳුන්වන අතර එය ගිනි තැබීම ‘මැලය ගිනිතැබීම’ ලෙස හඳුන්වනු ලැබේ.
බීජ වැපිරීම
මේ කාලය වන විට මහ කන්නයේ වැසි ආරම්භ වී ඇත. මැල ගිනිතැබීමෙන් පසුද ඉතිරිවූ ලී දඬු වැට බැඳීම සඳහා හේන වටේ ගොඩ ගසා බීජ ඉසීම ආරම්භ කරයි. හේනේ බීජ වපුරන ක්‍රම දෙකක් තිබේ. එක් ක්‍රමයක් නම් එක් එක් බෝගයන් වෙන වෙනම ‘තල’වල වැපිරීමය. කුරහන් වැපුරූ ප්‍රදේශය ‘කුරහන්තලය’ වේ. මුං වැපුරූ කොටස ‘මුංතලය’ වේ. අනෙක් ක්‍රමය නම් බීජ වර්ග කිහිපයක් කලවම්කර වැපිරීමයි. එකම හේනේ මෙම ක්‍රම දෙකටම බීජ වැපිරීම සිදු කරනු ලබයි. එසේම වෙන වෙනම ‘තල’වල වපුරනු ලබන බීජද මිශ්‍රකර වපුරන අවස්ථාද ඇත. එහෙත් තල බීජ මිශ්‍රණයට දමන්නේ නැත. බොහෝ විට හේන වටේ ට තල ඉහිනු ලැබේ.
බීජ මිශ්‍රනයට යොදනු ලබන බෝග වර්ග
• කුරහන්
• බඩ ඉරිඟු
• මුං
• කවුපි
• මැ
• උඳු
• කොල්ලු
• අබ
• මිරිස්
• බටු
• කපු
මෙම වගා භූමියේ ප්‍රධානම බෝගය වන්නේ කුරහන්ය. එබැවින් බීජ මිශ්‍රනයට අමතරව ‘නැලියක’ පමණ ‘කුරහන් තලයක්’ වැපිරීම සිදුකෙරේ. ‍
එ‍සේම තල වගා කළ ‍කොටසට අමතරව නැවත වරක් කුරහන් කපා ගත් ‘ඉපනැල්ල’ මතටද තල වපුරනු ලැබේ. එසේ තල වපුරා කුරහන් ඉපනැල්ල ගලවා දැමූවිට තල බීජය පස් යටට යාමෙන් පැලවේ.
මෙසේ බීජ වපුරන කාලයේ ‘අත්වැහි’ වැටෙන්නට පටන්ගෙන තිබේ. එනම් පොලවේ පස් ඇවිස්සෙන, එහෙත් පස් සෝදාගෙන නොයන ප්‍රමානයේ මද වැහි වැටේ. එබැවින් වපුරන බීජ කුරුල්ලන්, මීයන් වැනි සතුන්ගේ හානිවලට හසු නොවී ‘බිම්ගැන්වේ’. ...........

-උපුටා ගැනීම අවසන්-

හේන් ගොවිතැන කියනකොට කැලේ විනාශකරන දෙයක් කියලනෙ හිතෙන්නේ. ඒත් තාත්ත කියන්නේ කැලෑ විනාශ වෙන්නේ 'ඉංග්‍රීසි හේනෙන්', 'සිංහල හේනෙන්' කැලෑ විනාශ වුනේ නෑ කියල. මේ ලිපිය කියවද්දී හරිම ආස හිතුනා. ඒනිසා මගේ බ්ලොග් එකෙත් මේ විස්තර ටික දාගන්න හිතුනා. තාත්තා හා කීවා. ඉතින් දැම්මා.
(කියවන අයත් හේන ගැන දන්න දේවල් කියන්න. )

No comments:

Post a Comment