Sunday, April 5, 2009

හේන් ගොවිතැන - ගිනි තැබීම

හේන් ගොවිතැන ගැන තාත්ත ලියන ලිපියේ තවත් කොටසක් ඉල්ල ගත්ත.
බලන්නකො.

ගිනි තැබීම

අහසේ වැහිවලා රොක්වද්දී කැපූ කැලෑ ගිනි තබති. තෝරාගත් දිනයේ ඉර හැරී හෝරා දෙකකින් පමණ ගෙවෙද්දී හුලං හමනා අත බලා ගිනි අවුලවයි. බොහෝ විට මේ ගින්නෙන් දැවෙන්නේ ශාක පත්‍ර හා සිහින් අතුරිකිලි පමණි. පසුව ඉතිරිවන අතු-රිකිලි වලින් වැට බැඳීමට සුදුසු ලී දඬු ඉවත් කොට ඉතිරිවන කොටස් ගොඩ ගසා ගිනි තබයි. මෙම ගොඩ ‘මැලය’ ලෙස හඳුන්වන අතර එය ගිනි තැබීම ‘මැලය ගිනිතැබීම’ ලෙස හඳුන්වනු ලැබේ.
බීජ වැපිරීම
මේ කාලය වන විට මහ කන්නයේ වැසි ආරම්භ වී ඇත. මැල ගිනිතැබීමෙන් පසුද ඉතිරිවූ ලී දඬු වැට බැඳීම සඳහා හේන වටේ ගොඩ ගසා බීජ ඉසීම ආරම්භ කරයි. හේනේ බීජ වපුරන ක්‍රම දෙකක් තිබේ. එක් ක්‍රමයක් නම් එක් එක් බෝගයන් වෙන වෙනම ‘තල’වල වැපිරීමය. කුරහන් වැපුරූ ප්‍රදේශය ‘කුරහන්තලය’ වේ. මුං වැපුරූ කොටස ‘මුංතලය’ වේ. අනෙක් ක්‍රමය නම් බීජ වර්ග කිහිපයක් කලවම්කර වැපිරීමයි. එකම හේනේ මෙම ක්‍රම දෙකටම බීජ වැපිරීම සිදු කරනු ලබයි. එසේම වෙන වෙනම ‘තල’වල වපුරනු ලබන බීජද මිශ්‍රකර වපුරන අවස්ථාද ඇත. එහෙත් තල බීජ මිශ්‍රණයට දමන්නේ නැත. බොහෝ විට හේන වටේ ට තල ඉහිනු ලැබේ.
බීජ මිශ්‍රනයට යොදනු ලබන බෝග වර්ග
• කුරහන්
• බඩ ඉරිඟු
• මුං
• කවුපි
• මැ
• උඳු
• කොල්ලු
• අබ
• මිරිස්
• බටු
• කපු
මෙම වගා භූමියේ ප්‍රධානම බෝගය වන්නේ කුරහන්ය. එබැවින් බීජ මිශ්‍රනයට අමතරව ‘නැලියක’ පමණ ‘කුරහන් තලයක්’ වැපිරීම සිදුකෙරේ. ‍
එ‍සේම තල වගා කළ ‍කොටසට අමතරව නැවත වරක් කුරහන් කපා ගත් ‘ඉපනැල්ල’ මතටද තල වපුරනු ලැබේ. එසේ තල වපුරා කුරහන් ඉපනැල්ල ගලවා දැමූවිට තල බීජය පස් යටට යාමෙන් පැලවේ.
මෙසේ බීජ වපුරන කාලයේ ‘අත්වැහි’ වැටෙන්නට පටන්ගෙන තිබේ. එනම් පොලවේ පස් ඇවිස්සෙන, එහෙත් පස් සෝදාගෙන නොයන ප්‍රමානයේ මද වැහි වැටේ. එබැවින් වපුරන බීජ කුරුල්ලන්, මීයන් වැනි සතුන්ගේ හානිවලට හසු නොවී ‘බිම්ගැන්වේ’. ...........

-උපුටා ගැනීම අවසන්-

හේන් ගොවිතැන කියනකොට කැලේ විනාශකරන දෙයක් කියලනෙ හිතෙන්නේ. ඒත් තාත්ත කියන්නේ කැලෑ විනාශ වෙන්නේ 'ඉංග්‍රීසි හේනෙන්', 'සිංහල හේනෙන්' කැලෑ විනාශ වුනේ නෑ කියල. මේ ලිපිය කියවද්දී හරිම ආස හිතුනා. ඒනිසා මගේ බ්ලොග් එකෙත් මේ විස්තර ටික දාගන්න හිතුනා. තාත්තා හා කීවා. ඉතින් දැම්මා.
(කියවන අයත් හේන ගැන දන්න දේවල් කියන්න. )

Wednesday, March 18, 2009

හේන් ගොවිතැන

හුඟ දවසකින් මොකුත් ලිව්වේ නෑ.
අද හිතුනා ලියන්න. මොනව ගැන ලියන්නද කියල හිතා ගන්න බෑ.

මේ දවස්වල තාත්ත ලියන පොතක තිබුණා හේන ගොවිතැන ගැන.
ඇත්තටම ඒක හරිම සිත්ගන්නා ගොවිතැන් ක්‍රමයක්.

මේ බලන්නකො, වගාබිම තෝරාගන්නා විදිහ.

"...හේන සඳහා තෝරා ගන්නා භූමිය දසවසරට මෙහා වගා නොකළ එකක් විය යුතුය. ‘කැන්තෙන් කෙටිය හැකි’ ප්‍රමාණයේ ගස් තිබෙන භූමියක් විය යුතුය. විශාල ප්‍රමාණයේ ගස් එනම් රූස්ස ගස් අවම විය යුතුය. පස හොඳින් සාරවත් විය යුතුය. අක්කර දෙකක පමණ භූමියක් එක් පවුලක හේන ලෙස තෝරා ගනිති. ..."

හේන කොටනව කියන්නේ කැලේ කපනවට. කැලේ කපන එක‍ හොඳද?

" ..... අගෝස්තු මාසයේ අග ඇද වැටෙන මහ වැහි ආරම්භයට පෙර හේන් කෙටීම ආරම්භ කරයි. අහසේ ‘හුලං අත මාරුවන’ කාලය බලා තමන් තෝරා ගත් භූමියේ කැලෑව කපයි. අඩි 3ක් 4ක් පමණ දිග මිටක් සහිත ‘කැත්තක්’ මේ සඳහා භාවිතා කරයි. එයද ගමේ කම්මලේ නිෂ්පාදනයකි. මෙය ඉතා තියුණු මුවහතක් සහිත ආවුදයකි. එබැවින් වට අඟල් 5ක් 6ක් පමණ වූ ගහක් තනි පහරින් කපා දැමීමට හැකිය. මෙසේ කැලෑ කැපීමේදී ‘හා කං පෙත්තට’ කැපිය යුතුයැයි මතයක් තිබේ. මෙයින් කියවෙන්නේ කපා දැමූ ශාකයේ ඉතිරිවන කොටස ඉලිප්සාකාර හැඩයක් ගන්නා අතර එය හාවන්ගේ කනේ හැඩයට සමාන බවයි. කැලෑකපා දමා ඒවා වේලීමට ඉඩ හරී. ....."

උපුටා ගත්තේ තාත්තාගේ ගොනුවකින්.

තව තියෙනවා. පස්සේ දාන්නම්.

Saturday, February 14, 2009

සුභ උපන්දිනක් වේව!

අද මගේ අක්කාගේ උපන්දිනය!
අක්කේ ඔබට සුභ උපන්දිනක් වේවා!

හැම උපන්දිනකම වගේ අදත් උදෙන්ම හීල් දානේ උයාගෙන හැමෝම පන්සල් ගියා.
අක්කට සුභපතන්න කථා කරන අයට පිළිතුරු දෙන්නේ මම.

Wednesday, January 28, 2009

නිවාසාන්තර ක්‍රීඩා උළෙල

කණ්ඩායම් තරඟ නම් ඊයේ දිනයේ නිමාව ලැබුවා.
ඒ වනවිට,
1. සුනේත්‍රාදේවි නිවාසය.
2. විජයබා නිවාසය.
3. මයුරපාද නිවාසය.
4. ප්‍රතිරාජ නිවාසය.

කෙසේ වෙතත් අද දිනයේ එම තත්වය හාත්පසින්ම වෙනස් විය.
අද උදෑසන එකලා තරඟ ආරම්භ වූවා.
අද සවස තරඟ අවසානයේ,

1. මයුරපාද නිවාසය.
2. ප්‍රතිරාජ නිවාසය.
3. විජයබා නිවාසය.
4. සුනේත්‍රාදේවි නිවාසය.

යන ආකාරයෙන් ලකුණු පුවරුවේ දිස් වූවා.

Tuesday, January 20, 2009

නිවාසාන්තර තරඟ

මේ දිනවල නිවාසාන්තර තරඟ පැවැත්වෙනවා.
අපේ පාසලේ නිවාස හතර
  1. ප්‍රතිරාජ
  2. විජයබා
  3. මයුරපාද
  4. සුනෙත්‍රාදේවි
මම ප්‍රතිරාජෙ.

අද පාපන්දු තරඟ පැවැත්වුණා. අපි දිනුම්!
ඊයේ තිබූ ක්‍රිකට් තරඟ වලින් නම් පොඩ්ඩක් වෙනස් ප්‍රථිපලයක් ලැබුණේ. අපි දක්ෂ ලෙස හතරවන ස්ථානය ලබා ගත්තා.

මොනව වුණත් පිට්ටනියේ දූවිලි ටිකනම්, කියල වැඩක් නෑ. දූවිලි විෂ බීජ වලින් අපිව ආරක්ෂා කිරීමට ගොඩක් කට්ටිය ඉන්න නිසා අවුලක් නෑ.

Monday, January 19, 2009

දිවිමකුළුවා...!


මකුළුවා කියන්නේ බලන් ඉන්න ආස වැඩක් කරන පුංචි සතෙක්. දැල වියන කොට හරිම වේගවත්. වැඩේ ඉවර වෙලා ඉන්නෙ හරියට මලා වගේ, සතෙක් එනකම්. අපේ ගෙවල්වල ඉන්න මකුළුවෝ නම් (පොඩි සතෙක් මරාගෙන කෑවට) අහිංසකයි. ඒත් කැලෑවල ඉන්නවාලු 'දිවි මකුළුවෝ'. උන්නම් හරිම භයානකළු.

දන්නවාද ඒ මකුළුවෙකුට ආහාර නැතිව කොපමණ කාලයක් ඉන්න පුළුන්ද කියල? කියන්න බලන්න.
(අසාමාන්‍ය දැනීම පොතේ තිබුණා)

Friday, January 16, 2009

අසාමාන්‍ය දැනුම

ඔබ කොන්කෝඩ් යානයකින් ලන්ඩනයේ සිට නිව්යෝක් බලා පියාසර කළ‍හොත් පිටත් වූ වේලාවට වඩා පැය දෙකකට පෙර ගමනාන්තයට ළඟාවිය හැකිය.

මේ මේ දිනවල මා කියවන පොතක තිබූ සටහනක්.
පොත:- අසාමාන්‍ය දැනීම
කතෘ :- කුමාරසිරි ගමගේ

තවත් එකක්!

සාමාන්‍යයෙන් කාන්තාවක් (අම්මා) දිනකට වචන 7,000 ක් පමණ කථා කරන අතර පිරිමියෙක් (තාත්තා) දිනකට කථාකරන්නේ වචන 2,000 ක් පමණි.

Sunday, January 4, 2009

2009 හත වසරේ !

2009 සියළු දෙනාටම සුභ වසරක් වේවා!

හෙට අපේ පාසල් ආරම්භවන දවස. මම එතකොට හතේ.
2009 තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රිසි වසර නිසා මගේ තොරතුරු තාක්ෂණ දැනුම හා ඉංග්‍රීසි දැනුම ඉහල දමා ගැනීමට බලාපොරොත්තු වෙනවා. බ්ලොග් මිතුරෝත් මට උදව් කරයි කියා බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ඉදිරියේ නව ආරකින් බ්ලොග් ලියන්න බලාපොරොත්තු වෙනවා.